ශ්‍රීලනිප දෙපැත්තෙන්ම එකතුවෙන්න කොන්දේසි


(දයාසීලි ලියනගේ සහ අජන්ත කුමාර අගලකඩ)  
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිපය යන කණ්ඩායම් දෙකම, කොන්දේසි ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ඒකාබද්ධයට කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇතැයිද දැන ගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකාබද්ධයේ කොන්දේසිය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැනුම්දී ඇතැයි සඳහන්වේ.  


දෙපාර්ශ්වය එක්ව පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වැදීම හෝ ශ්‍රීලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත් තමන්ට වාසි සහගත කොට්ඨාස වෙන වෙනම බෙදාගෙන නිතරග ගිවිසුමක් යටතේ තරග වැදීම හෝ සියලු දෙනා එක්ව ශ්‍රීලනිප යටතේ තරග කිරීම ශ්‍රීලනිපය ඉදිරිපත් කළ යෝජනා තුන බව පැවසේ. මෙම යෝජනා ඒකාබද්ධ විපක්ෂයට ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ අදහස්ද සළකා බලා යළි සාකච්ඡා කිරීම සඳහා වූ මූලික කරුණු ඇතුළත් යෝජනාවලියක් ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ. මෙම සාකච්ඡා සඳහා පත් කර ඇති ඇමැති අනු කමිටුවේ නායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු සකස් කර ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට නියමිතය.