ශ්‍රීලනිප - එජාප හවුල දිගටම යනවාද ? තීන්දුව දෙසැම්බරයේ


(අජන්ත කුමාර අගලකඩ)  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගෙන තිබෙන එකඟතාව දීර්ඝ කරන්නේද යන්න ලබන දෙසැම්බර් මාසයේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බව ජනාධිපති ​මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2017 දෙසැම්බර් වනතෙක් ආණ්ඩුව සමග කටයුතු කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව 2015 අගෝස්තු මාසයේදී රැස්වී තීරණය කළ බවත් එය තව දුරටත් පවත්වාගෙන යන්නේද තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බවත් ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.   


ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුව සමඟ දිගටම සිටිනවාද? යනවාද ස්වාධීනව සිටිනවාද ස්වාධීනව සිටිමින් ආණ්ඩුවට සහාය දෙනවාද යන්න තීරණය කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් බව කී ජනාධිපතිවරයා ආණ්ඩුවට විරුද්ධව සියලු දේ කරනවා යන්න ඉන් අදහස් නොකරන බව සඳහන් කළේය.   


එළැඹෙන දේශපාලන තත්ත්වයත් සමග මධ්‍යම කාරක සභාව අවශ්‍ය තීරණ ගන්නා බවද ජනාධිපතිවරයා පැවැසීය.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලන වැඩ පිළිවෙළ ලබන 3 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙලේදී රට හමුවේ තබන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.  


“ජාතියේ අනාගතය සඳහා පිරිසුදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් යන්න මෙවර සංවත්සරයේ තේමාව බවද ජනාධිපතිවරයා කීවේය. ගතවූ වසර දෙක හමාර තුළ රටට ලබාදී ඇති නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව විවාදයක් නැති බව කී ජනාධිපතිවරයා දූෂණය, වංචාව අකාර්යක්ෂමතාව හා නාස්තිය නැති කිරීම පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු පිළිබඳව ජනතාවගේ පැත්තෙන් ප‍්‍රසාදයක්ද නැති බව සඳහන් කළේය.