විසිවැනි සංශෝධනය අය-වැයට පෙර


(අජන්ත කුමාර අගලකඩ)   

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙනෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.   
ලබන වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් මුල ඉදිරිපත් කර විවාද කිරීමට මාසයකට වැඩි කාලයක් ගතවන බැවින් 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් මාසයේදී සම්මත කර ගැනීමට සැලසුම් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාව සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් නොවන නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සංයුතියේ හා බලතලවල යම් සංශෝධන 20 වැනි සංශෝධනය මගින් සිදු කෙරෙනු ඇතැයි වාර්තාවේ. ව්‍යවස්ථාදායක සභාව සහ විගණන කොමිසම අහෝසි කළ යුතු බවටද යෝජනා ඉදිරිපත්වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයිද හෙතෙම සඳහන් කළේය. 

 
අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් නීතිපති පොලිස්පති යනාදී තනතුරු සඳහා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට ලැබී ඇති බලතල අඩුකර එම බලය ජනාධිපතිවරයා යටතට පත්කළ යුතු බවටද නීති විශාරදයන් යෝජනා කර ඇති බවද ඔහු කීවේය.   


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් අංශය විසින් දැනටමත් කෙටුම්පත් කරගෙන යනු ලබන බවද ඔහු සඳහන් කළේය.