විධායක බලතල හරිහැටි පෙන්වන්න


(අජන්ත කුමාර අගලකඩ)   
ඉදිරි මාස හයේදී විධායක බලතල පාවිච්චි කර තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.  


එසේ නොකළහොත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබේ.  

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඉකුත් බදාදා රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදීය.  


ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කලකිරීමක් හා අප්‍රසාදයක් ඇතිවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා මැදිහත්වී තීන්දු තීරණ නොගතහොත් ශ්‍රීලනිපයටද එම අපවාදයෙන් ගැලවිය නොහැකි වන බවත් මැති ඇමැතිවරුන් පෙන්වාදී ඇත.   


එබැවින් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සිය බලතල පාවිච්චි කර තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.  


එම තීන්දුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා තනි නොකර කටයුතු කරන බවද ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබේ.