විග්නේෂ්වරන්ගේ උදව්වට සිවාජිලිංගම් එයි


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා බහුතර බලය පෙන්වීමට ප්‍රධාන අමාත්‍යවරයාට පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති.  

ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කරන බව මන්ත්‍රීවරුන් 15 දෙනකු මේ වනවිටත් දිවුරුම් පෙත්සම් මගින් දැනුම් දී ඇත.   බහුතර බලය පෙන්වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.  


ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිපත් කළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 21 දෙනකු අත්සන් කළ බව ප්‍රකාශ කළත් එයට අත්සන් කර ඇත්තේ 15 දෙනකු පමණක් බව වාර්තා වෙයි.  සෙසු මන්ත්‍රීවරුන් 6 දෙනා දිවුරුම් පෙත්සම්වලට අත්සන් කර නැතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.  මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කිරීම සඳහා සෙසු මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.  


ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් එම පෙත්සම් ඉවත්කර ගැනීමේ සූදානමක් පවතී.  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් මහතා හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අතර පැවැති දුරකථන සංවාදයකදී මන්ත්‍රීවරුන් බහුතරයක් ප්‍රධාන අමාත්‍යවරයාට සහාය පළ කරන බවට සම්පන්දන් මහතා දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග පවසයි.  


මේ අතර ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කරමින් උතුරේ දිස්ත්‍රික්ක 5 ක හර්තාල් ව්‍යාපාරයක් පසුගිය සිකුරාදා පැවැත්විණි.  
ප්‍රදේශයේ කඩ සාප්පු වසා ජනතාව වීදි බැස මහ ඇමැතිවරයාට සහයෝගය පළකර ඇතැයි වාර්තාවෙයි.