විගණන කොමිසමත් 20න් අහෝසියි


හැදුවේ 19 වැනි සංශෝධනයෙන්

කොමිසම තිබුණත් පසුගිය කාලෙ සොරකම් කළා

ජනපති

 

(අජන්ත කුමාර අගලකඩ) 

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදෙනු ලැබූ ජාතික විගණන කොමිසම යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමට අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය සතිය වන තෙක්ම තීන්දුවක් ගෙන නොතිබූ නමුත් එම කොමිසම අහෝසි කළ යුතු බවට ආණ්ඩුව මේ වනවිට ස්ථාවරයකට පැමිණ ඇති බව වාර්තා වේ.    

ආයතනවල කටයුතු විගණනය කිරීම අවශ්‍ය වුවද මෙම ජාතික විගණන කොමිසම මගින්, රාජ්‍ය නිලධාරින් බිය කර ඇති නිසා එය අහෝසි කළ යුතු බව රජයේ බහුතරයකගේ අදහස වී ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.  


ඉකුත් බද‌ාද‌ා පැවැති කැබිනට් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.  
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් නතර කිරීම සහ විගණනය කිරීම යනු කාරණා දෙකක් බවත්, විගණන කොමිසම තිබූ නමුත් පසුගිය ආණ්ඩුව සමයේ මහා පරිමාණ හොරකම් සිදු වූ බවත් පවසා ඇත. 

 
රාජ්‍ය නිලධාරින් අනවශ්‍ය ලෙස බියකර හිරකර තැබීමෙන් රට පවත්වාගෙන යා නොහැකි බව ද තීන්දු තීරණ ගෙන රාජ්‍ය නිලධාරින්ට නිදහසේ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් ඇති කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.  
ඉකුත් ආණ්ඩුව සමයේ නිලධාරින් වැඩ නොකළ බවත්, අණ්ඩුවෙන් ද වැඩක් නොවුණ බවත් පවසා ඇත. ජනාධිපතිවරයා නිලධාරීන්ට නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කරන බව ද පවසා ඇත.  
ඒ අතරම ආණ්ඩුවේ සොරකම් නතර කිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.  


ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමටත්, සංශෝධන ඇත්නම් ඒවා කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කර අවශ්‍ය සංශෝධන සිදුකිරීමටත් රජය තීරණය කර ඇත.  


ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම ජනාධිපතිවරයාට වාර දෙකක් පමණක් ධුරය දැරිය හැකිවීම, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා කිරීම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම යන වගන්ති හැර 19 වැනි සංශෝධනයෙන් පැනවූ අනෙක් සියලු වගන්ති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කෙරෙනු ඇති බව ද පැවසේ.  


20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.