ලයිට් දුන්නාට ආණ්ඩුවෙන් කෝටි පන්දාහක් ඉල්ලයි


 

(දයාසීලි ලියනගේ)  

විදුලිය ජනන වියදම් මගින් සිදුවන පාඩුව ආවරණය කර ගැනීම සඳහා රුපියල් බිලියන 50ක (කෝටි 5000ක) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාගැනීමට යයි.  

ලංකා විදුලියබල මණ්ඩලය මේ වන විට විශාල වශයෙන් තාප විදුලි බලාගාර මගින් ජනනය කරනු ලබන විදුලිය ලබා ගන්නා බැවින් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු බව ඇමැති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.  


පවතින ආදායම් හා වියදම් පරතරය තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට යම් කාලසීමාවක් ගත වන බවත්, මුදල් නොගෙවන විට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබාදීම නවතා දමන බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.  


මෙම තත්ත්වය විදුලිය ජනනයට දැඩි බලපෑමක් එල්ල කරන අතර, විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මෙමගින් දැඩි බාධාවක් එල්ල වන බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.  


විදුලිය ඒකකයක ජනන වියදමට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන් වෙත විදුලිය සැපයීම විදුලි බල මණ්ඩලය මගින් සිදු කරන බැවින්, එම පාඩුව අවම කර ගැනීමට රුපියල් බිලියන 50ක මුදලක් ලබා ගැනීමට යෝජනා කර ඇත.  


මෙම යෝජනාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය.