රන්ජන්ගේ හඬ පට විමර්ශනයට ජනපති කොමිසමක්


(අජන්ත කුමාර අගලකඩ)  

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.   


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන් සමග කළ බව කියන දුරකථන සංවාද ඇතුළත් හඬ පට ගණනාවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල පළවීමත් සමග අධිකරණය දේශපාලන හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන දැඩි ආන්දෝලනය සැලකිල්ලට ගනිමින් මෙම කොමිෂන් සභාව පත්කෙරෙනු ඇති බව එම ආරංචිමාර්ගවලින් පැවැසේ.  

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විතව එම කොමිෂන් සභාව පත් කිරීමට ඉඩ ඇති බව ද දැනගන්නට ඇත. රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්​දේශ ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ද බොහෝදුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


 රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග කළ බව කියන දුරකථන සංවාද ඇතුළත් හඬ පට 1,21,000ක් පමණ පොලිසිය විසින් පසුගියද‌ා අත්අඩංගුවට ගනු ලැබීය.  


මේ අතර රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 20ක් පමණ ඉකුත් බ්‍රහස්පතින්ද‌ා (09) ​ෙවන විට සමාජ මාධ්‍ය ජාලවල පළ වී තිබූ අතර විනිසුරුවරුන් දෙදෙනකු හා විශ්‍රාමික විනිසුරුවරියක සමග කළ මෙම සංවාද ද ඊට ඇතුළත්ව තිබිණි.  මේ අතර විවිධ දේශපාලනඥයන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සමඟ කළ බව කියන සංවාද ඇතුළත් හඬ පට කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාලවල පළ වී තිබිණි.  


 මෙම සංවාද හරහා අධිකරණ ක්ෂේත්‍රයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා දේශපාලන ක්ෂේත්‍රයටත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කැළඹීමක් ඇතිව තිබේ.  මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ගණනාවක්ම, ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.