මූල්‍ය සමාගම් හයක කෝටි 2500ක බර ආණ්ඩුව පිට පැටවිලා


(අජන්ත කුමාර අගලකඩ)  

බිඳවැටී ඇති මූල්‍ය සමාගම් හයක ගනුදෙනු කරුවන්ට වන්දි ගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවට රුපියල් කෝටි 2582ක පමණ වැය බරක් දරන්නට සිදුව ඇත.   


ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර අරමුදලෙන් මෙම වන්දි මුදල් ගෙවා තිබේ.   

එම මූල්‍ය සමාගම් හයේ ගනුදෙනුකරුවන් සඳහා තවත් රුපියල් කෝටි 3596ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ඇතැයි වාර්තා වේ.  


මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 45න් සහ විශේෂිත ලීසිං සමාගම් තුනෙන් ඉකුත් වසර තුනක පමණ කාලය තුළ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 6 ක් බිඳවැටී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙයි.  
සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ්, ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් පී.එල්.සී, ටී.කේ.එස්. ෆයිනෑන්ස් ලිමිටඩ්, ද ෆයිනැන්ස් කම්පැනි පී.එල්.සී. සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් හය මෙසේ බිඳවැටී ඇති මූල්‍ය සමාගම් බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.  


මෙම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හයේම මූල්‍ය ව්‍යාපාර බලපත්‍ර ඉකුත් වසර දෙකක කාලය තුළ අත්හිටුවා ඇත.  


මෙසේ බිඳවැටී ඇති මූල්‍ය සමාගම් හයේ තැන්පතු කරුවන් 2,56,375 දෙනකු සිටින බවද මහබැංකුව සඳහන් කරයි.   


මෙම මූල්‍ය සමාගම්වල බිඳවැටීම මෙරට මූල්‍ය අංශය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකර ඇතැයිද මහබැංකු වාර්තාවල සඳහන් වේ.