මැතිසබේ විසුරුවීමේ ජනපති බලය වසර දෙකහමාරට බස්සයි


විසිවැනි සංශෝධන කෙටුම්පතට ආණ්ඩුවෙන්ම සංශෝධන

(අජන්ත කුමාර අගලකඩ) 

පාර්ලිමේන්තුව තේරී පත්වී වසර දෙක හමාරකින් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන වගන්තියක් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එම වගන්තිය ඇතුළත් වී නැති අතර එය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන කාරක සභා අවස්ථාවේදී සංශෝධනයක් ලෙස ගෙන ඒමට රජය තීරණය කර තිබේ. 

පාර්ලිමේන්තුව තේරීපත්වී වසරකින් පසුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබූ නමුත් යහපාලන රජය 2015 දී සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය වසර හතර හමාරක් දක්වා දීර්ඝ කර තිබිණි. 


19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ද එය වසරකින් පසුව ලෙස සඳහන් වී ඇතත් කාරක සභා අවස්ථාවේදී එය වසර දෙක හමාරකින් පසුව යනුවෙන් සංශෝධනයක් ලෙස ගෙන ඒමට රජය තීරණය කර ඇත. 
මේ සම්බන්ධයෙන් ඉරිද‌ා ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව තේරී පත්වී වසර දෙක හමාරකින් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන ලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධනයක් ගෙන එන බවය. 


එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වී නැති බවත් එය සම්මත කෙරෙන කාරක සභා අවස්ථාවේදී සංශෝධනයක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් මහාචාර්ය පීරිස් මහතා කීවේය. 


 මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වසර 5 කට බැවින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර දෙක හමාරකින්වත් පසුව විය යුතු බවට සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ලෙස සිටියදී අදහසක් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් මහතා රජය ද එවැනි අදහසක සිටින්නේ යැයි කීවේය. 


ඒ අනුව ජනාධිපතිවරයාට වසර දෙක හමාරකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන සේ බලය පැවැරෙන වගන්තියක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරන බව ඔහු සඳහන් කළේය.