මැති ඇමැති පිරිසකගෙන් රිෂාද්ට බලපෑම්


ඉල්ලා අස්වෙන්න: 

 

(අජන්ත කුමාර අගලකඩ) 

 
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහාය පළ කිරීමක් ලෙස ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම ඔහුගෙන් ඉල්ලීම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.   

බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ලබන 18 සහ 19 යන දෙදින විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර ඊට පෙර ඔහු සිය ධුරයෙන් ඉවත්විය යුතු බව එම මැති ඇමැතිවරුන් ඔහුගෙන් ඉල්ලා ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.   


ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතාත් රාජ්‍ය ඇමැති නිරෝෂාන් පෙරේරා මහතාත් රිෂාද් බදියුදින් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.  මේ තත්ත්වය හමුවේ බදියුදින් මහතාට අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස කෙරෙන බලපෑම් වැඩි වී ඇතැයි වාර්තා වේ. 

 
රිෂාද් බදියුදින් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව නිරෝෂාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.   


මේ අතර ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රීවරුන් 5 දෙනකුත් බදියුදින් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බව නිල නොවන මට්ටමින් වාර්තා වේ.   


මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් දෙමළ සන්ධානය තුළ බෙදීමක් ද හටගෙන ඇති බව වාර්තා වේ.