මහින්ද පිලේ රොත්තකට ආසන අහිමි වෙයි


 

(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි සති කිහිපයේදී ආසන සංවිධායක ධුරවලින් ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


පක්ෂය ශක්තිමත් කිරීමට සහාය නොදක්වන ආසන සංවිධායකවරුන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සති දෙකකට පමණ ඉහතදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබිණි.


ඒ අනුව ගිය සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටිය සංවිධායක ධුරයෙන් ද වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මහතා පොල්ගහවෙල සංවිධායක ධුරයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කරනු ලැබූහ.


ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා, දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, රෝහිත අබේගුණවර්ධන, සාලින්ද දිසානායක, කාංචන විජේසේකර, ගීතා කුමාරසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවත්කරනු ලැබ සිටිති. චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ සහ රංජිත් සොයිසා යන මහත්වරු ඇතුළු අට දෙනෙක් ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර දරමින් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරති.


තවත් ආසන සංවිධායකයින් කිහිප දෙනෙකු ඉදිරි සති කිහිපය තුළ ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කෙරෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි.