මහ විපතක් බේරා නියමුවා දිවිදෙයි


හෝටලයක ගැටීම වළක්වා ජනශූන්‍ය තැනකට ගෙනිහින්

 

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලුනුගල ප්‍රසන්න පත්මසිරි)  

ඉකුත් සිකුරාදා හපුතලේ තම්බිපිල්ලේ වතුයායට කඩාවැටුණු ගුවන් හමුදා යානයේ නියමුවා එම යානය නිවාස සහිත ප්‍රදේශයකට කඩාවැටීම වළක්වා මහත් පරිශ්‍රමයකින් එය ජන ශූන්‍ය ප්‍රදේශයකට යොමු කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.    

අනතුර සිදුවන ආකාරය සියැසින් දුටු ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුමිත් සමයදාස මහතා පැවසුවේ, යානය තම හෝටලයට වැටෙන්නට යද්දී එහි නියමුවා මහත් පරිශ්‍රමයක් දරා නිවාස නොමැති මුඩු බිමකට යානය ගෙන ගිය බවය. යානය ඉන්පසු කඩා වැටී ඇත.  


අනතුරින් නියමුවා ඇතුළු යානයේ සිටි සිව් දෙනාම මියගියහ. මෙම ගුවන් අනතුරින් මියගොස් ඇත්තේ ප්‍රධාන ගුවන් නියමු වීරබැද්ද, සහායක ගුවන් නියමු කුලතුංග, ගුවන් හමුදා සැරයන් කුමාර සහ නායක ගුවන් භට හෙට්ටිආරච්චි යන සිව් දෙනාය.  


මෙම යානය හපුතලේ සහ ඒ අවට ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල යොදවා තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.  
ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර තිබෙන බව සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.  


නිරීක්ෂණ කටයුතු සඳහා මෙම යානය ගුවන්ගත කර ඇත්තේ හම්බන්තොට වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිටය.  


යානය මෙවැනි අනතුරකට පත්වීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.