මහ මැතිවරණය අප්‍රේල්-මැයි වලදී


 

 

(අජන්ත කුමාර අගලකඩ)  

පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මස මුලදී විසුරුවා හැර, මහ මැතිවරණය අප්‍රේල් මස අගදී හෝ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


දහනව වැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් වන අතර , ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව එය විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරකින් පසුවය.  

2015 වසරේ අගෝස්තු මස 18 වැනිදා පැවැති මහමැතිවරණයෙන් තේරීපත් වූ වර්තමාන පාර්ලිමේන්තුවේ නිලකාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වේ. එහෙත් එම පාර්ලිමේන්තුවට ලබන වසරේ මාර්තු 1 වැනිදා වනවිට වසර හතර හමාර සම්පූර්ණ වන බැවින්, ඉන්පසුව එළැඹෙන ඕනෑම දිනයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත.  


එ් අනුව, වත්මන් පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන වසරේ මාර්තු මස 1 වැනිදා හෝ එම සතියේදී විසුරුවා හැරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


මාර්තු මස මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ලබන අප්‍රේල් මස අගදී හෝ මැයි මාසයේදී හෝ මහමැතිවරණය පැවැත්වෙනු ඇත.  මීළඟ මහමැතිවරණය පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම සඳහා 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ද ජනාධිපතිවරයා විසින් පෙරේදා (22) පත්කරනු ලැබීය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව සමග සිටින සෙසු දේශපාලන පක්ෂ මීළඟ මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පුටුව ලකුණින් තරග කිරීමට දැනටමත් තීරණය කර තිබේ.  


නව කැබිනට් මණ්‍ඩලය දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවෙමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ, ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බවය.