මහ ඡන්දයට එන්න පොදුජන එක්සත් පෙරමුණ ‘පොලිෂ්’ කරයි


(අජන්ත කුමාර අගලකඩ)  

ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරග කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිලධාරී මණ්ඩලයක් ළඟදීම පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව සාකච්ඡා කර එම නව නිලධාරි මණ්ඩලය පත්කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත.  

දැනට තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කෙරෙන අතර ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂත් එහි හවුල්කරුවන් බවට පත්වනු ඇත. ඒ සියලු පක්ෂවලට තනතුරු බෙදී යන සේ නව නිලධාරි මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද වාර්තා වේ.  


පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (04) රාත්‍රියේ දී ශ්‍රීලනිප මූලස්ථානයේ දී රැස්වූ අතර හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එහි මහලේකම් ධුරයට වැඩබලන මහ ලේකම් ලෙස රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්ත මහතා එහිදී පත් කරගෙන ඇත.  


ඉදිරියේ දී ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව නව සන්ධානය පිහිටුවන බැවින් වැඩබලන ලේකම්වරයකු පත්කර ගැනීම පමණක් එහිදී සිදුවූ බව වාර්තාවේ.