මරණ දඬුවම පනවන යෝජනාව අයින් කරගනියි ?


(අජන්ත කුමාර අගලකඩ) 


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති නමුත් දේශීය හා විදේශීය වශයෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ එම තීරණය ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. 

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් නවයක තානාපති කාර්යාලත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉකුත් සතියේ ඉල්ලීමක් ද කර තිබිණි. 
මේ අතර මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. බදු සහනය නතර කරන බව ද යුරෝපා සංගමය රජයට දැනුම් දී තිබූ බව වාර්තා විය. 

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද මේ වන විට බෙදීමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. 


මේ තත්ත්වය හමුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සැක සහිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගත් අතර මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරවල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බව ජනාධිපතිවරයා මහනුවර දී ද ප්‍රකාශ කර තිබිණි. 


මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවමට නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් තමාට එවන ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබූ අතර මරණ දඬුවමට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැතිවරියට දැනටමත් යවා ඇත.