බුර්කාව-ආගමික පාසල්-ෂරියා සරසවි තහනම් කරන්න පොදු එකඟතාවක්


රටටම පොදු නීති පද්ධතියක් මාස දෙකකදී සකසන්න යයි

(අජන්ත කුමාර අගලකඩ) 


ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එකඟතාවකට පැමිණ ඇත.  


එහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සකස් කරන ලද කරුණු 11කින් යුත් යෝජනාවලියක් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ සභාපති මලිත් ජයතිලක මහතාට භාරදී තිබේ.  

එම යෝජනාවලිය පිළිබඳව ශ්‍රීලනිපය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟද ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඇතුළු පක්ෂ ගණනාවක් සමඟද දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා ඔවුන්ගෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  


මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ ලබන සතියේදී සාකච්ඡා කරන බව කී එම ප්‍රකාශකයා මාසයක් වැනි කෙටි කාලයක් තුළ අදාළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව සඳහන් කළේය.  


ජාතීන් හා ආගම් වශයෙන් වෙන් වෙන්ව පක්ෂ ඇති නොකිරීම, මුහුණු ආවරණය වන අන්දමේ බුර්කාව වැනි ඇඳුම් භාවිතය තහනම් කිරීම, මද්‍රසා පාසල් රජයට පවරා ගැනීම, ශරියා විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලනයට ගැනීම, වෙන වෙනම ආගම් සඳහා අමාත්‍යාංශ ඇති නොකිරීම, සියලු ජාතීන් හා ආගමිකයින් සඳහා පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා මීට ඇතුළත් වන බවද ඔහු කීවේය.