බැඳුම්කර වංචාවට අපරාධ පනතෙන් නඩු


(අජන්ත කුමාර අගලකඩ)  
මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලුතින් පනත් ගෙන එන තෙක් අපරාධ පනත යටතේ මහාධිකරණයේ නඩු පැවැරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.  

අපරාධ නඩු විධාන සංග්‍රහයට 2008 දී ගෙන එන ලද සංශෝධනයට අනුව සුවිශේෂී සිද්ධි සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අභිමතානුසාරී බලය මත, ලඝු නොවන මූලික පරීක්ෂණයක් නොපවත්වාම ඍජුවම මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපතිවරයාට බලය ලැබී ඇති බැවින් මෙම පියවර ගැනෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


මහබැංකු බැඳුම්කර සිද්ධියද සුවිශේෂි සිද්ධියක් බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපතිවරයාට බලය තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


මහ බැංකු බැඳුම්කර සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලුතින් පනත් තුනක් ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බදාදා ඇල්පිටියේ පැවැති රැස්වීමකදී ද ප්‍රකාශ කළේය.   


බැඳුම්කර සිද්ධියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් නැවත අයකර ගැනීම, මහ බැංකුවේ මෙවැනි දූෂණ වංචා නැවත නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම යටතේ නැවත විමර්ශනයක් නොමැතිව බැඳුම්කර කොමිසම් වාර්තාවේ කරුණු මත පදනම්ව අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවැරීම සඳහා අල්ලස් හෝ දූෂණ පනත සංශෝධනය කිරීම යන කරුණු සඳහා මෙම පනත් තුන ගෙන ඒමට රජය සැලසුම් කර ඇත.  


ඉන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනතේ සංශෝධන මේ වනවිටත් සකස් කර අවසන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.  


ජනාධිපතිවරයා ඉකුත් බදාදා පෙරවරුවේ නීතිපතිවරයාත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මහ බැංකු අධිපතිවරයා සහ රජයේ නීති විශාරදයින් ද ජනාධිපති කාර්යාලයට කැඳවා අදාළ සංශෝධන ඇතුළත් නව පනත් තුන සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.