බහුතරය හදාගන්න යළිත් මෙහෙයුම්


(අජන්ත කුමාර අගලකඩ)  

විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ඇතිව තිබෙන අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබෙන වාතාවරණය හමුවේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් 113 බහුතරය හදා ගැනීමේ මෙහෙයුමක් නැවත ආරම්භ කර ඇතැයි වාර්තාවේ.   


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නොපිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇති අතර කතානායකවරයා නොපිළිගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.  


මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමද බරපතළ අර්බුදයක් වී ඇති බැවින් රටේ දේශපාලන අර්බුදය ද දිනෙන් දින උග්‍රවෙමින් තිබේ.  

එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවටත්, එක්සත් ජාතික පක්ෂයටත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම මේ තත්ත්වයට දැඩි ලෙස බලපා ඇත.  
එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වූ මන්ත්‍රීවරුන් ද සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 103ක් හිමිව ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එකතු වූ මන්ත්‍රීවරුන් ද සමඟ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 100ක් හිමිව ඇත.  


මේ තත්ත්වය තුළ ආණ්ඩුවට බහුතර බලය පෙන්වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් 10 දෙනකුගේ සහාය ලබාගැනීමට සිදුව තිබේ.   


ඒ සඳහා මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් දැනටමත් ආරම්භ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය ද ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් විපක්ෂයට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.  


මේ අතර අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරිය යුතු බව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 29 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඡන්දය විමසීමට කතානායකවරයා තීරණය කර ඇති අතර එවැනි යෝජනාවක් විපක්ෂයෙන් ගෙන ආ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.   


ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා (29) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමද තීරණාත්මක එකක් වනු ඇතැයි වාර්තා වේ.