බඩු මිල වැඩි වීමට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක්


(දයාසීලි ලියනගේ) 

බඩු මිල හා අත්‍යවශ්‍ය සේවාවන්වල මිල ඉහළ යාමෙන් ජනතාව මුහුණ පා සිටින දැඩි අසීරුතාව පිළිබඳව රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාර, පාගමන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමට දේශපාලන පක්ෂ හා දේශපාලන කණ්ඩායම් තීරණය කර ඇත.  

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය මගින් රජයේ වැඩපිළිවෙළට විරෝධය දක්වා ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇත. මාධ්‍ය සාකච්ඡා මගින් කරුණු ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බැවින් මේ රජය බලයෙන් ඉවත් කර සහන සලසන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. ‘ජන අරගලයක ඇරඹුම’ නමින් මෙම වැඩසටහන හැඳින්වේ.  


ජනතා විමුක්ති පෙරමුණ මගින් ‘බදු බර අඩුකර, බඩු මිල අඩු කරනු’ යන තේමාවෙන් අනිද්දා (22) කොළඹ දී පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඉන්ධන සඳහා බදු අය කිරීමෙන් රජය ලාභ ලැබීමත් ජනතාව අසීරුතාවට පත් කිරීමක් සිදුවී ඇතැයි සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණ රජයේ වැඩපිළිවෙලට විරෝධය දක්වා රට පුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර ඇත.  


 මේ අතර 16 කණ්ඩායම මගින් ජනතාව වෙනුවෙන් කළ යුතු දේ හා කළ හැකි දේ යනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.  


 පළමු රැස්වීම මේ මස 26 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.