පොලිස්පතිට පක්ෂව සහ විපක්ෂව ආණ්ඩුවේ මත ගැටුමක්


(අජන්ත කුමාර අගලකඩ)  

මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.   


පොලිස්පතිවරයාට එල්ලවී ඇති චෝදනා හමුවේ ආණ්ඩුව අපහසුතාවට පත් නොකර ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයකගේ අදහස වී ඇත.  

 

එහෙත් පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නැති බැවින් පරීක්ෂණයකින් තහවුරු වනතෙක් ඔහු ඉවත්වීමේ අවශ්‍යතාවක් නැති බව එජාප මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 
මේ අතර පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයිද වාර්තා විය.  


දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට හෝ පොලිස් කොමිෂන් සභාවට නැති අතර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පමණක් එය කළ හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.   


මේ තත්ත්වය මත පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තර මත ගැටුමකට ලක්ව සිටින බව දැන ගන්නට ඇත.