පෙරටත් වඩා ජවයකින් ගීත ගයන්නේ යළිත් තාරුණ්‍යයට ගිහින්ද


 

සුභාවිත සංගීතයේ දී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක කලාකරුවාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ ගී අනන්‍යතාව වසර 53 ක් තිස්සේ අදටත් එකලෙස රඳවා ගැනීමට සමත්වීමම ඔහු ලැබූ ජයග්‍රහණයකි. එදා සිට අද දක්වා එක ලෙස තම ජනප්‍රියත්වය හිමිකරගෙන සිටින මේ ගාන්ධර්වයා පසුගියදා සිය 75 වැනි ජන්ම දිනය සැමරුවේ, තම රසික රසිකාවියන්ට උපන් දින තෑග්ගක් ලෙස “වික්ටර් වජ්‍ර ප්‍රභා” ගී ප්‍රසංගය ලබාදෙමිනි.

 

ජීවිතයේ බොහෝ හැල හැප්පීම් මැද, ඒවා සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන මුනිවරයකු ලෙස නොසැලී සිටින මේ ගාන්ධර්වයා, අද දවසේදී පෙරටත් වඩා ශක්තිමත්ව තම නිර්මාණ කටයුතුවල නිරත වී සිටින්නේ සැමටම ආදර්ශයක් වෙමිනි. ඔහු සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අප කළ විමසුම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කළේ තමාටද පෞද්ගලික ජීවිතයක් ඇති බව සඳහන් කරමිනි. එම ඉල්ලීමට ද ගරු කරමින් ආචාර්ය වික්ටර් රත්නායක නමැති ගාන්ධර්වයා සමඟ අපි කතාබහක නියැළුණෙමු. මේ එහි සටහනයි.

 


● ඔබගේ 75 වැනි උපන් දිනය නිමිත්තෙන් පසුගියදා “වජ්‍ර ප්‍රභා” නමින් ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. මේ ප්‍රසංගය පිළිබඳව ඔබට දැන් මොකද හිතෙන්නේ? ඇයි එවැන්නක් කිරීමට සිත් වුණේ?
අවුරුදු 75 ක් සපිරෙද්දීත් මගේ රසික රසිකාවියන් උදෙසා, ඔවුන් තෘප්තිමත් කිරීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය පවත්වන්න මා තීරණය කළේ. තවම මට ගීත ගැයීමේ හැකියාව, කුසලතාව තිබෙනවා නම් ඇයි මම මෙවැන්නක් කිරීමට මැළිවන්නේ? “වජ්‍ර ප්‍රභා” කියන්නේ දියමන්තියේ දිස්නය කියන එකයි. 75 වැනි වියට පා තබලා සිටිද්දීත් මගේ ගීත ගයා, තවම ගී නිර්මාණයේ හා ශිල්පීය ජීවිතයේ ඉන්නවා කියලා පෙන්වන්නයි මේ ප්‍රසංගය පවත්වනු ලැබුවේ.


ඒ ප්‍රසංගය ඉතාම සාර්ථක ප්‍රසංගයක් වුණා. මොකද ශාලාව පිරී ඉතිරී ගියා. ප්‍රසංගයේදී ගී ගයන්න මට ශක්තිය, ඒ ආකාරයෙන්ම තිබුණා කියලා තමයි හැමෝම වගේ එදා මට සුබ පතමින් පැවසුවේ. ඒ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්වීමත් විශේෂත්වයක් වුණා. ඇත්තටම මට සතුටුයි ‘වජ්‍ර ප්‍රභා’ කියන අරුතට ගැළපෙන අයුරින් මට ඒ ප්‍රසංගය එදා කරන්න ලැබීම ගැන.

 


● ඔබ පෙරටත් වඩා ජවයකින් දැන් ගීත ගයන බවයි බොහෝ දෙනා කියන්නේ. ඒ කියන්නේ ඔබ යළිත් තාරුණ්‍යයට ගිහින් වගේ නේද?
ඔව්. ඇත්තෙන්ම එහෙම කියන කොටත් තාරුණ්‍යය කරා අප පොළඹවන බවක් පෙනෙනවා. නිර්මාණකරණයට, ගීත ගායනයට ඒ පැවසීමත් යම් දිරියක් ලැබෙන බව කිව යුතුයි. රසිකයාත් එක්ක භාව භාෂණය ඉක්මවන ඒ කියන්නේ මේ රසය බෙදාගැනීමට මම සිතන්නේ අපිව තව තෘප්තිමත් වෙනවා කියලයි. ඒ තෘප්තිය සඳහා තව තවත් කුසලතාවය වර්ධනය වෙනවා කියන තත්ත්වය තමයි මා දකින්නේ. ඒ නිසා තමයි මම නැවතත් තාරුණ්‍යට එළැඹී ඇති බවක් බොහෝ දෙනා දකිනවා ඇත්තේ.

 


● මේ ප්‍රසංගයේදී ඔබගේ වෙබ් අඩවියද එළිදක්වනු ලැබුවා. එයින් බලාපොරොත්තු වුණේ කුමන කාරණයක්ද?
ඇත්තෙන්ම වෙබ් අඩවිය ආරම්භ කිරීමේ පරම චේතනාව තමයි තව වසර ගණනාවක් මේ හරහා පරම්පරා ගණනාවකට ඒ කියන්නේ නූතන පරම්පරාවටත් ඉදිරියේදී බිහිවන පරම්පරාවටත් අපගේ නිර්මාණ පිළිබඳව කිසියම් අවබෝධයක්, දැනුමක්, අධ්‍යනයක් කරන්න තරම් මේ වෙබ් අඩවියේ අපි දත්ත සපයලා තිබෙනවා. මගේ නිර්මාණ, මා විසින් තවත් අයට කළ නිර්මාණ, මගේ චිත්‍රපට පසුබිම් සංගීතයෙන් වූ සේවය, මගේ වෘත්තිය කුසලතා, ගේය පද රචකයන් ගැන, සංගීතඥයන් පිළිබඳව යන සියලු දත්ත අඅඅගඩසජඑදරර්එයබ්හ්න්ගකන වෙබ් අඩවියෙන් අපි රසිකයන්ට සපයා තිබෙනවා. මා හිතනවා අපි නැති කාලෙක හෝ ගීත පිළිබඳව යම් දැනුමක් ලබාගැනීමට වුවමනා නම් අධ්‍යාපනික මට්ටමකින් හෝ කරන්න පුළුවන් ආකාරයේ දායාදයක් තමයි මේ අප දීලා තියෙන්නේ.

 

 


● ඔබගේ අවුරුදු 75 ක ජීවිත කාලය තුළ මේ සමාජයේ විවිධ හැල හැප්පීම්වලට ලක්වෙන්න ඇති. ඒ දෙස බලද්දී ඔබට අද මොකද හිතෙන්නේ?
සහතිකයෙන්ම මම නිතරම කියන කතාවක් තමයි මගේ වෘත්තීය සංගීත දිවියට වසර 53ක් දැන් ගෙවිලා ඉවරයි. එතකොට මේ අවුරුදු 53 දෙස ආපසු හැරිලා බලනවිට, මට හිතෙනවා මා හරිම වාසනාවන්ත කලාකරුවෙක් කියලා. මොකද මා විතරක්, මගේ නිර්මාණකරණය හරහා ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් අරගෙන ආවා කියන තැන නොවෙයි ඉන්නේ. මගේ නිර්මාණ තවත් අය අතරේ දායාද කරලා තිබෙනවා. තවත් අයට බෙදලා දීලා තිබෙනවා. ඒ හරහා ඔවුන් ලැබූ තෘප්තිය, ඔවුන් ලැබූ කිසියම් ජනප්‍රියත්වයක්, ප්‍රසිද්ධියක් කීර්තියක් තිබෙනවා නම් ඒ සියලු දෙනාගේ සතුට ගැන තමයි මා නිතරම කල්පනා කරන්නේ.


ඉතිං බුදුදහමේ කියන විදියට “සන්තුෂ්ටි පරමං ධනං” කියන ආකාරයට ඒ සතුට පරම ධනය විදියට මට ලැබී තිබෙනවා කියන එක තමයි මා ආපසු හැරිලා මගේ ජීවිතය දිහා බැලුවාම මට පේන්නේ. ජීවිතයේ හැල හැප්පීම් ඝට්ටනවලට ලක්වෙනවාට වඩා හොඳයි නේද ප්‍රශ්නවලට මුහුණ දෙමින්, ඒ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන ඉදිරියට ගමන් කරන එක. ලාබය විතරක් නොව අලාබයද අප අත්විඳිය යුතුයි නේද? මේ අත්විඳීම හරහා අපේ ශක්තිය, ධෛර්ය වඩාත් වැඩිකර ගන්නවා කියලා තමයි මට කියන්න තිබෙන්නේ. ජීවිතයේ කිසිම දෙයකින් මා වැටිලත් නෑ. වැටෙන්නෙත් නෑ. ඒ සියල්ල මට ඉදිරි ගමනට තව තවත් ශක්තිය සපයනවා.

 


● ඔබ ජීවිතයේ යම් ආකාරයට සතුටු වුවත් පොදුවේ සමස්ත කලා ක්ෂේත්‍රය ගැන සතුටුවෙන්න බැහැ නේද?
ඇත්ත ඒ පිළිබඳව සතුටෙන් කතාකරන්න බැරි බව. අපේ රටේ තිබෙන මාධ්‍ය මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් බැලුවාම නම් සංගීතය, ගීතය කියන කලා මාධ්‍යය විශාල පරිහානියකට ලක්වී ඇති බවයි පෙනෙන්නේ. ඒ ගැන ඇත්ත වශයෙන්ම දුක්වෙන්න ඕනෑ. දුක්වෙනවා කියලා අපි කරපු දේවල් ගැන පසුතැවෙන්න අවශ්‍ය නෑ. අපි කළ කී දෑ පිළිබඳව සතුටුයි. අපේ රටට උචිත නොවන අයුරින් විද්‍යුත් මාධ්‍ය වැඩිවීම මේ කලා ක්ෂේත්‍රයේ විනාශය ඉක්මන් උනා කියලයි මට හිතෙන්නේ. අපට මාධ්‍ය මධ්‍යස්ථාන හොඳටම වැඩියි. මේවා වැඩිවන්න වැඩිවන්න අපේ කලාව අවර ගණයට යන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒවා පිළිබඳව රටක බලධාරීන් ඇස්, කන් පියාගෙන සිටීම විශාල ඛේදවාචකයක්. පාලකයන් මේ පිළිබඳව අවධානය යොමුකර ඒවාට ප්‍රමිතියක් සැලසිය යුතුයි. නමුත් ඔවුන් ඒ ගැන නොබැලීම කනගාටුවක්. මේ විනාශ වෙන්නේ රටක හැදියාව, සංස්කෘතිය නේද?

 


● ඔබට එල්ලවෙන කටකතා මඩ ප්‍රහාර දෙස ඔබ බලන්නේ සානුකම්පිත හැඟීමකින්. කොහොමද මේ තරම් ඔබේ සිත රඳවාගන්නට සමත්වුණේ?
ඇත්තෙන්ම බෞද්ධයකු හැටියට මට එල්ලවන චෝදනා දෙස උපේක්ෂාව වඩවා ගන්න තරම් ශක්තියක් මට තිබෙනවා කියලා. අප ගන්න පියවරකට වෙනත් අය දැඩි විවේචන එල්ල කරන්න පුළුවන්. මගේ සංගීත දිවිය ගැන වෙන්න පුළුවන්, පෞද්ගලික ජීවිතය ගැන වෙන්න පුළුවන්. එවැනි චෝදනා එල්ල කරන්නේ කොහොම වුණත් ඒවා විඳ දරා ගැනීමේ ශක්තිය, උපේක්ෂාව උපදවා ගැනීමේ පුළුවන් හැකියාව මා හිතන්නේ දියුණු කරගෙන තියෙන බවයි. එහෙම ශක්තිය මට ලැබී තිබෙන්නේ මා උගතුන් ඇසුරු කරන කෙනෙක්. පොතපත පරිශීලනය කරන කෙනෙක්. ඒ වගේම මම දහම පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන බෞද්ධයෙක්. එතකොට අපට දැනෙන, විඳින කම්පනයට පත්වන දෙයක් ඇහුවත්, ඒවා ඉවසා දරාගන්න පුළුවන්. ඒ වගේම සතුට දනවන, ප්‍රීතිය දනවන දෙයක් ලැබුණත් මේ සියලු දේ අපට එක වගේ ගන්න පුළුවන් නම්, මා හිතන්නේ ඒ කලාකරුවා නිතරම දිනපු කෙනෙක් කියලයි. අධික දුකට හා අධික සැපයට එහිදී මා පත්වෙන්නේ නෑ. මේ කිසිම දෙයකින් මා කම්පාවට පත්වෙන්නේත් නෑ. එය මට තවත් අලුත් ශක්තියක් ලබාදෙන බවයි මා දකින්නේ.


මාව මේ රටේ මිනිසුන් හඳුනාගත්තේ සංගීතවේදියෙක් ගායකයෙක් විදිහටයි. මම ඔවුන්ට සැමවිටම සාධාරණය ඉටුකරලා තිබෙනවා. ඔවුන් සතුටට පත්කරලා තිබෙනවා. මගේ කටහඬින් මම හා රසිකයන් අතර තිබෙන සම්බන්ධයට කිසිවිටෙක අසාධාරණයක් කරලා නෑ. ඕනෑම කෙනකුට මාව විවේචනය කරන්න අයිතියක් තිබෙනවා. ඒ ඔවුන් හා මා අතර ඇති සංගීතය පිළිබඳ කාරණවලදී විතරයි කියා මා හිතන්නේ. මගේ පෞද්ගලික ජීවිතය හා දරුවන් ගැන කරන විවේචනවලට ඇත්තේ කනගාටුවක්. මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඉතිං ඕක අපි තේරුම් ගත යුතුයි. මා ඒවා පිළිබඳව උපේක්ෂාවෙන් තමයි බලන්නේ.

 


● ඉදිරියේදී ඔබගේ සංගීත ගමන් මග කොයි ආකාරයටද සැලසුම් කරගෙන තිබෙන්නේ?
ඇත්ත වශයෙන්ම මා නිතරම ප්‍රාර්ථනා කරන්නෙ මගේ දැනුමෙන් මගේ කුසලතාවයෙන් මගේ හැකියාවෙන් තවත් අයට ආලෝකයක් ලබාදෙන්න පුළුවන් නම් අන්න ඒකයි මගේ පරම චේතනාව හා පැතුම වෙන්නේ. එයින් මා විශාල සතුටක් ලබනවා. මා ගීතයක් හදලා, සංගීතය යොදා එය ගායනා කරනවාටත් වඩා තවත් කෙනකුට එය දානය කරලා, ඔහු හෝ ඇය ක්ෂේත්‍රයේ යම් ජනප්‍රියත්වයක් ලබනවා නම්, ඒ ලබන සතුට තරම් තවත් සතුටක් කොයින්ද? මගෙන් බලාපොරොත්තු වෙනවා නම් කිසියම් කෙනෙක් තනු නිර්මාණය කරගන්න, සංගීතවත් කරගන්න, ඒ සියලු දෙනාට නිතරම අතහිත දෙන්න සූදානම්.


ඒ වගේම මගේ ගායන කටයුතු පෙරටත් වඩා හොඳින් මා කරගෙන යනවා. ප්‍රසංග ගණනාවක් ඇවිත් තියෙනවා. මා හිතන්නේ යළිත් සුභාවිත ගීතයට රසිකයන්ගේ ඇල්ම, ආශාව දැන් වැඩිවී තිබෙනවා. ඉතිං මා ඔවුන්ට කියන්නේ මම ඔවුන් වෙනුවෙන් යළිත් වඩාත් ශක්තිමත් ගීත ගයන බවයි. 


ඔවුන්ගේ ආදරය, ලැබෙනවිට මා තව තවත් තාරුණ්‍යයට යන බවක් තමයි පෙනෙන්නේ. මා මුලින් කීවාක් මෙන් ජීවිතයේ බොහෝ ප්‍රශ්න එන්න එන්න එයින් මා තෘප්තිමත් වී තවත් අලුත් ශක්තියෙන් ඉදිරියට යන බවක් තමයි වැටහෙන්නේ.

කතාබහ : සමන්ත යහම්පත්