පිටරට ණය ගෙවන්න ආණ්ඩුව ලොකු ණයක් ගනී


(අජන්ත කුමාර අගලකඩ)  

මාස තුනක වි​දේශ ණය හා ණය පොලී ආපසු ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක පමණ මුදලක් (රුපියල් කෝටි 18,000ක පමණ) රාජ්‍ය බැංකු තුනකින් ඩොලර් ණය වශයෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.  

මේ මාසයේ සිට අගෝස්තු දක්වා වන මාස තුනක කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ආපසු ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 99ක් සහ ණය පොලී ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 29ක් වශයෙන් ඩොලර් කෝටි 128 ක පමණ මුදලක් අවශ්‍ය වී ඇති බැවින් මෙම මුදල රාජ්‍ය බැංකුවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  
මේ මුදල ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුළින් විදේශ විනිමය බැංකු ඒකකවලින් හෝ සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එම ආරංචිමාර්ග කියයි. 


මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ද වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.  


ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා මාස තුන තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය ආපසු ගෙවීමට ඇමෙරිකානු ​​ඩොලර් කෝටි 32ක් ද විදේශ විනිමය බැංකු ඒකක ණය ආපසු ගෙවීමට ඩොලර් කෝටි 25ක් ද සෙසු විදේශ ණය ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 70ක් පමණ ද වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.