ප්‍රහාරයට දින 25කට කලින් සහරාන් නායකත්වයෙන් ඉවත් කළා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

පාස්කු ඉරිදා ප්‍රහාරයට දින විසි පහකට පමණ පෙර තව්හිද් ජමාත් නායකත්වයෙන් සහරාන් ඉවත් කළ බවත් ඉන් දින කිහිපයක් තුළ ඔහු එම නායකත්වය බලහත්කාරයෙන් ලබාගත් බවත් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ කල්ලියේ නායකයා වූ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නමැත්තා පොලිසියට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.  

මෙම පුද්ගලයා ද තව්හිද් ජමාද් සාමාජිකයකු වන අතර සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේදී යුද පුහුණුව ලබා ඇති බවද ඔහු පොලිසියට කියා ඇත. ඉකුත්දා ගම්පොළ ප්‍රදේශයේ සපත්තු කඩයක සැඟවී සිටියදී ඔහු සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබීය.  


එම සැකකරු සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේදී ආයුධ පුහුණුව ලබා ඇත්තේ චෙච්නියානු ජාතිකයෙකුගෙනි. තමා සමඟ තවත් විදේශිකයන් 12 දෙනකු ද පුහුණුව ලැබූ බව ඔහු පොලිසියට කියා ඇත.  


තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල සිදුවූ සිංහල හා මුස්ලිම් කෝලාහලවලින් පසු තම සංවිධානයට බොහෝ පිරිසක් එකතු වූ බවත් තම සංවිධානය සිංහල ජනතාව සමඟ තද වෛරයකින් පසුවන බවත් ඔහු පොලිසියට කියා ඇතැයි ද දැනගන්නට තිබේ.  


“අන්‍යාගමිකයන් මරන්න ඉදිරිපත්වන අය ස්වර්ගයට යන බව සහරාන් අපට ඉගැන්වුවා. ලෝකයේම ඉන්න ඕනෑ මුස්ලිම් ජනතාව පමණයි. පිළිම වන්දනාව මහ බොරුවක්. ඒ නිසා දේව ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා විනාශ කරන්න” කියා සහරාන් උපදෙස් දුන් බවද මෙම සැකකරු පවසා ඇත.