පළාත් සභා තීරණාත්මක තීන්දුව සිකුරාදා


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  

දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිලකාලය අවසන් ​ෙවන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මත වීම හෝ නොවීම මත තීරණය ​ෙවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මත වුවහොත්, පළාත් සභා හයක මැතිවරණය ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට හැකි​ෙවන අතර, සම්මත නොවුණහොත් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  

 

පළාත් සභා මැතිවරණ පනත පසුගිය වසරේ සම්මත කර ඇති බැවින්, නැවත පරණ ඡන්ද ක්‍රමය ගැන කතා කිරීමේ හැකියවක් නැතැයි කී එම අමාත්‍යවරයා, නැවත පරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම්, පසුගිය සැප්තැම්බරයේ සම්මත කරන ලද පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අහෝසි කළ යුතුව ඇතැයි කීවේය.  


සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ලබන 24 වැනිදා සම්මත වුවහොත්, පළාත් සභා මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.  
පළාත් සභා මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුවේම සුළු පක්ෂ කිහිපයක් විරෝධය පළකර ඇති බැවින්, එය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.  


සීමා නිර්ණ කොමිසමේ වාර්තාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් ඉකුත් මාර්තු මස 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, පළාත් සභා ඡන්ද විමසීම් පනත අනුව, එය මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කළ යුතු වුවත්, එසේ නොවුණ නිසා එය ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.