පළාත් සභා ඡන්දෙ තීන්දුව අනිද්දා


(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් අනිද්දා (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

පළාත් සභා නවයේම මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර, එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගිය සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් පළාත් පාලන විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා අනිද්දා සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  


ඒ අනුව අනිද්දා පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අදාළ කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැ​ෙනනු ඇත.  


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.  


පළාත් සභා මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර එකවර පැවැත්විය යුතු බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ අතර, පළාත් සභා මැතිවරණය පැරැණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට ද එමගින් යෝජනා කර තිබිණි.  


මේ අතර, පළාත් සභා අපේක්ෂක ලැයිස්තුවට සියයට 25ක කාන්තා නියෝජනයක් ඇතුළත් විය යුතු බවට ද ජනාධිපතිවරයා එමගින් යෝජනා කර තිබිණි.  


සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් 2017 වසරේ අගෝස්තු මාසයේ ද, මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ඉකුත් සැප්තැම්බර් මාසයේදී අවසන් විය.  


දකුණ සහ බස්නාහිර පළාත් සභා දෙකේ නිල කාලය ලබන අප්‍රේල් මාසයේ ද ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේ ද අවසන්වීමට නියමිතව ඇත.  
ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව පළාත් සභා සියල්ලේම මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට නම්, දැනට නිල කාලය අවසන් වී නොමැති පළාත් සභා තුන ද කලින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවේ.  


පැරැණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්වීමට නම්, දැනට සම්මත වී ඇති කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ජන්දක්‍රමයට අදාළ පනත අහෝසි කර, අනුපාත ක්‍රමය බලාත්මක කිරීම සඳහා නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනඒමට රජයට සිදුවේ.