නැව නිදහස්: නාවිකයන් අටදෙනා අද දිවයිනට


 

(දයාසීලි ලියනගේ)
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුවී සිටි ශ්‍රී ලාංකිකයන් අටදෙනා අද (19) දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවැසීය.

මුහුදු කොල්ලකරුවන්ගෙන් නිදහස් කරගත් පිරිස සෝමාලියානු වරායකට ගෙන්වා ගෙන තිබිණි. ශ්‍රී ලාංකිකයන් අටදෙනා මේ වනවිට යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන අතර ඉතියෝපියාවේ සිටින අප තානාපතිවරයාගේ සහාය මත මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව චමින්ද වලාකුළුගේ මහතා ප්‍රකාශ කළේය. නැව් හිමියන්ගේ නියෝජිතයෙක්ද සෝමාලියාවේ නාවික හමුදා ප්‍රධානියකු සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලා ඇති බවත් වාර්තාවේ.


නැව නිදහස් කරගැනීම සඳහා සෝමාලියානු මුහුදු තීරයේ ආරක්ෂාවට සිටින පන්ට්ලන්ඞ් නමැති අර්ධ ස්වයං පාලන ප්‍රාන්තයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්වී සිටින අතර රාජ්‍ය නොවන සංවිධානයක් මගින් නැව සෝමාලියානු වරායට ගෙනැවිත් ඇති බවද විදේශ ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. 


“ඔවුන් ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් කරලා අවසානයේ නැව අතහැර ගියා යැයි” එම ප්‍රදේශයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන ඕෂන්ස් බියොන්ඞ් පයිරසි සංවිධානය සමග වසර ගණනාවක් කටයුතු කළ බි්‍රතාන්‍ය හිටපු හමුදා නිලධාරී ජෝන් ස්ටීඞ් මහතා පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය කියයි. ජෝන් ස්ටීඞ් මහතා වසර ගණනාවක් මෙවැනි නැව් මුදා ගැනීමේ යෙදුණු පළපුරුදු බේරුම්කරුවෙකි.