නායකත්ව මණ්ඩල සාකච්ඡාවෙන් සජිත් පාර්ශ්වය ඉවත් වෙයි


(දයාසීලි ලියනගේ)   

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන පිරිස යළි එම කමිටුවට සම්බන්ධ නොවීමට තීරණය කර ඇත. 


රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතුය යන යෝජනාව ගැන එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම නිසා රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම හා තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් මෙම තීරණය ගෙන ඇත. 

ඉදිරි මහමැතිවරණය තෙක් නායකත්ව මණ්ඩලයක් පත් කළ යුතු බවට මෙම කමිටුවේ සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාව එක එල්ලේම ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. පක්ෂයේ බහුතරයකගේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය බවද ඒ මහතා පැවසීය. 


රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්ප අවශ්‍ය නොවන නිසා, මින් ඉදිරියට මෙම සාකච්ඡාවට සහභාගි නොවීමට තීරණය කළ බවද ඔහු කීය.