නව ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ පාර්ලිමේන්තුවට


(අජන්ත කුමාර අගලකඩ)   

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 


නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවේ යෝජනාවලිය එළඹෙන මාර්තු මාසයේ දී රජයට බාර දීමට බලාපොරොත්තු වන බව එම කමිටුව දන්වා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර මේ වසර තුළ පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ අපේක්ෂාව වී ඇතැයි පැවසේ. 


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමක දී පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව පැවැසීය. 


පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ද වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ දී මූඛ්‍ය අරමුණක් බව කී ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොට්ඨාස හා අනුපාත මිශ්‍ර මැතිවරණයක් සමගින් රටට හඳුන්වා දෙන බව ද සඳහන් කළේය. 


මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ දී පළාත් සභා ඡන්ද ක්‍රමය හා පළාත් පාලන ඡන්ද ක්‍රමය ද ඊට අනුරූප වන ලෙස වෙනස් කළ යුතු බවට රජයට යෝජනා ඉදිරිපත් වී ඇත. 


පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ දී සියයට 70 ක් කොට්ඨාස අනුව ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය අනුව ද වන සේ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.