තෙල් අයිතියට අමාත්‍යංශ ගැටුමක්


(දයාසීලි ලියනගේ සහ අජන්ත කුමාර අගලකඩ)  

ඉන්ධන මිල වැඩ කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය අතර බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතට පටහැනිව මිල සූත්‍ර කමිටුව ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීම බව සඳහන් වේ.  


මුදල් අමාත්‍යංශය තෙල් මිල වැඩි කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ 2018 ජුනි 22 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ තීරණයකට අනුව ඉන්ධන මිල සූත්‍රයක් පදනම් කර ගෙන සංශෝධනය සඳහා කමිටුවක් පත් කළ බවයි.  

භාණ්ඩාගාර නියෝජ්‍ය ​ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුව ඉන්ධන මිල වැඩි කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නැයි මංගල සමරවීර ඇමැතිවරයා ඉල්ලා ඇත.  


එහෙත් අර්ජුන රණතුංග ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකින් ඉල්ලා ඇත්තේ මිල සූත්‍ර කමිටුව එසේ මිල තීරණය කිරීම නීතිය බරපතළ ලෙස උල්ලඝනය කිරීමක් බවය. මීට අමතරව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට මිල සූත්‍ර කමිටුවේ සභාපති ධූරය හිමිවීම ප්‍රායෝගික නොවන බවත් එය හිමිවිය යුත්තේ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ට බවත්ය.  


මෙම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වා ඇතත්, එහිදීද අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ ඉල්ලීම නොසලකා හැර තිබෙන බවද දැනගන්නට ඇත.