තීරණාත්මක සතියක්


(අජන්ත කුමාර අගලකඩ)  
එළැඹෙන සතිය දේශපාලන වශයෙන් අතිශයින් තීරණාත්මක සහ ආන්දෝලනාත්මක සතියක් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් තෝරා ගැනීමට ඊයේ (10) පැවැති මැතිවරණයේ ප්‍රතිඵල ඒ සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇතැයිද වාර්තාවේ.  

පෙබරවාරි 10 වැනිදායින් පසුව පෙරළිකාර දේශපාලන තීන්දු රැසක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.  අමාත්‍යංශ කිහිපයක පවතින අවිධිමත් විෂය පථයන් බෙදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා නුදුරේදීම නිවැරැදි කරනු ඇතැයිද වාර්තාවේ. ඒ අනුව අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ඇමැති මණ්ඩල සංශා්ධනයක්ද ළඟදීම සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.   


ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් ලැබෙන ජනතා තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමන් මඟට මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.