තීරණය ඔබේ අතේ


පිරිසිදු දේශපාලන ගමනකට සියලු පක්ෂ සමඟ සාකච්ඡා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

(අජන්ත කුමාර අගලකඩ) 
දූෂණයෙන් වංචාවෙන් තොරව, පිරිසිදු දේශපාලන ගමනක් යාම සඳහා ලබන 10 වැනිදායින් පසුව තමා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.


තමා ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් සමඟ සාකච්ඡා කර, ඒ සඳහා ජනතාවට පිළිගත හැකි පුළුල් වැඩපිළිවෙළක් සකස් කරන බව ද ජනාධිපතිවරයා කීවේය. 


නිවැරැදි දේශපාලන ගමනකට පිරිසිදු කණ්ඩායමක් එකට එකතු විය යුතු යැයි කී ජනාධිපතිවරයා තමා ලබන 10 වැනිදායින් පසුව සියලු පාර්ශ්ව සමඟ ඉතා තදින් ඒ සඳහා සාකච්ඡා කරන්නේ යැයි සඳහන් කළේය. 


අවුරුදු තුනක් තිස්සේ බලා සිටියේ ඇයිදැයි කෙනකු ඇසිය හැකි බව කී ජනාධිපති සිරිසේන මහතා සම්මුතිවාදී ආණ්ඩුවක් කරන විට, එහි තත්ත්වයන් ද තේරුම් ගත යුතු වන බව පැවැසීය. 


ආණ්ඩුවේ කාල සීමාවෙන් හරි මැදට පැමිණ ඇති නිසා එහි හරි වැරදි කුමක් ද යන්න පෙනෙන බව කී ජනාධිපතිවරයා වැරදි දේ ප්‍රතිකේෂ්ප කර, හරි දේ කිරීමට කැපවිය යුතු බවද ප්‍රකාශ කළේය. 


මෙම වැඩපිළිවෙළේ දී පුද්ගල චරිත, තනතුරු ආදිය වැදගත් නොවන්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.


 

 

බැඳුම්කරයට එජාපයේ කවුරුත් සම්බන්ධ නෑ

අගමැති රනිල් වික්‍රමසිංහ

(ප්‍රියන්ත කොඩිප්පිලි) 
බැඳුම්කර සිදුවීමට එජාපයේ කිසිවකුත් සම්බන්ධ නැති බවත් වගකිය යුතු නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉරිදා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අද‌ාළ පරීක්ෂණ පළමුවෙන්ම ආරම්භ කළේ තමා බව කී වික්‍රමසිංහ මහතා මෙම සිදුවීමේදී එජාපය සම්පූර්ණ විනිවිදභාවයෙන් කටයුතු කළ බව ද කීවේය.


ඒ සඳහා දියහැකි උපරිම සහයෝගය පරීක්ෂණවලට ලබාදුන් බව ද කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් නොකළ බව ද අගමැතිවරයා කීවේය.  


ප්‍රධාන පක්ෂ දෙක එකතු වූණේ ආණ්ඩු කරන්න මිස ඡන්ද කරන්න නොවන බව කී අගමැති වික්‍රමසිංහ මහතා මැතිවරණ වේදිකාවේදී විවිධ විවේචන පහරගැසීම් සිදුවන බව ද සඳහන් කළේය.


 

 

ශ්‍රීලනිපය කඩන්න මා කාටවත් ඉඩදෙන්නේ නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්) 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාදැමීමට තමා කිසිවකුටත් ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. 

ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවැසීය. 


තමාගේ ජීවිත කාලයම කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බව කී හිටපු ජනාධිපතිවරයා චන්ද්‍රිකා ජනපතිනියගේ සමයේ මන්ත්‍රීවරුන් 56 දක්වා වැටී තිබූ පක්ෂයට තමා මන්ත්‍රීවරුන් 128 දෙනකු ලබාදුන් බවත් පළාත් සභා සියල්ලම පක්ෂයට ජයග්‍රහණය කරදුන් බවත් සඳහන් කළේය. 


තමා තනතුරෙන් එළවන කුමන්ත්‍රණයක් දිගු කලක් තිස්සේ පැවැති බව දැන් වැටහෙන්නේ යැයි කී රාජපක්ෂ මහතා තමාගේ පාලන සමයේ අන්තිම කාලයේ එය තදබල ලෙස ක්‍රියාත්මක වූ බව ද සඳහන් කළේය.


 

 

2020 ආණ්ඩු බලය ගැනීමේ ආරම්භය මේ ඡන්දෙන්

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 

(ප්‍රියන්ත කොඩිප්පිලි) 
2020 දී ආණ්ඩු බලය ලබාගෙන ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ශක්තිය මෙවර මැතිවරණයේදී තමන් ගොඩනගා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි.

ඉරිදා ලංකාදීප සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජවිපෙ නායකයා මේ බව පැවැසීය. 


කණ්ඩායම් තුනක් ලෙස පෙනුන ද බලය සඳහා තරගවැදී සිටින්නේ එකම කණ්ඩායමක් බවත් ඔවුන් අතර කුමන විරුද්ධවාදිකම් තිබුණත් එය මැතිවරණය පසු වනතුරු පමණක් බව මෙම කණ්ඩායම් තුනේ නායකයන් නිතර ප්‍රකාශ කරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය. 


‘‘මේ පිරිස හොරකම් කරන්නේ එකට, ආණ්ඩු කරන්නේ එකට, කැබිනට් මණ්ඩලයේ වාඩිවෙන්නේ එකට’’ යැයි ද ජවිපෙ නායකයා පැවැසීය. 


අද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මියෙම්දෝ - රැකෙම්දෝ තත්ත්වයක සිටින බවත් එම නිසා ඔවුන් මාරාන්තික ලෙස ආවේශ වී මොන මොනව හෝ කියන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.