ත්‍රස්ත පනත පරදවන්න පොහොට්ටු-ජවිපෙ එකඟතාවක්


(අජන්ත කුමාර අගලකඩ) 
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කොටුම්පත පාර්ලිමේන්තුව තුළ දී පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකඟතාවකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 


විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර ඉකුත් බද‌ාද‌ා (06) විපක්ෂනායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පනත් කෙටුම්පත, මානව හිමිකම් උල්ලංඝනය කරන ජනමාධ්‍ය නිදහස නැති කරන හා කම්කරු අයිතිවාසිකම් අහිමි කරන පනත් කෙටුම්පතක් බව දෙපාර්ශ්වයේම අදහස වී ඇතැයි වාර්තා වේ. 


ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණි බව එම ආරංචි මාර්ග කියයි. 


මේ අතර මහ මැතිවරණයක් දිනාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ එක්ව කටයුතු කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එහිදී එකඟතාවකට පැමිණ ඇති බව ද වාර්තා වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විපක්ෂයේ සහාය ලබා ගැනීම සඳහා පැවැති මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුද  සහභාගි වූහ. 


මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පරාජය කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී පොදු එකඟතාවකට පැමිණි බවය.  
මෙම ප්‍රතිත්‍රස්ත පනත ඉතා භයානක එකක් බවත්, එය සියලු පාර්ශ්ව එක්ව පරාජය කළ යුතුම බවත් විජිත හේරත් මහතා කීවේය.