ජනපතිවරණයට අපේක්ෂක පොරයක්


පක්ෂ දෙකෙන්ම නම් පෝලිමක්

(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දින නියම කර ඇති කාලයට තවත් මාස 11 ක් පමණ තිබියදී ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගණනාවකගේ නම් මේ වනවිට කරළියට පැමිණ තිබේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද නම් දෙකක් මේ වනවිට දේශපාලන කරළියට පැමිණ ඇත.

 

ජනතාව ජනාධිපතිවරණයට සූදානම් නම් තමා ද ඊට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ ප්‍රකාශ කර තිබිණි. ඉන් දිනකට පමණ පසුව පැවැති උත්සවයකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමා ද ජනාධිපතිවරණයට සූදානම් බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර තිබිණි.  


මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ද ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ නම් කරළියට පැමිණ ඇත.  


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව එජාපයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇති අතර නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන බව තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත. මේ අතර එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස වෙනස්ම චරිතයක් ඉදිරිපත් කරන බවය.  


ප්‍රධාන දේශපාපලන පක්ෂ තුනම ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් දැන් සිටම කතා කරන්නට පටන් ගෙන ඇති නිසා තවත් මාස 11ක් පමණ තිබෙන ජනාධිපතිවරණයේ උණුසුම දැන් සිටම ඇතිව තිබෙන බව පෙනෙන්නට තිබේ.   


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේදී දැනටමත් ආරම්භ කර ඇත.