ජනපතිවරණය කැඳවීම ලබන සති අන්තයේ ?


ජනපතිවරණය නොවැම්බර් මැද   

නාමයෝජනා ඔක්තෝබර් මුල

(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපතිවරණය කැඳවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලබන සති අන්තයේදී නිකුත් කෙරෙනු ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

 
ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණය කැඳවීමේ බලතල ඉකුත් 10 වැනිදා සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවැරී ඇත.  එසේ වුවද, ප්‍රායෝගික හේතුමත ජනාධිපතිවරණය කැඳවීමේ කටයුතු අද (15) සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත පවරා ගන්නා බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.  

ඒ අනුව ජනාධිපතිවරණය කැඳවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ලබන 22 වැනිදා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවැසේ.   
ජනාධිපතිවරණ පනත අනුව, ජනාධිපතිවරණය කැඳවීමේ නිල නිවේදනය නිකුත් කර දින 14 කට නොඅඩු සහ දින 21 කට නොවැඩි දිනයකදී නාමයෝජනා කැඳවිය යුතුවේ.   
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මස දෙවැනි සතියේදී සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දැන ගන්නට ඇත. 

 
නාමයෝජනා කැඳවීමේ දින සිට සති 4ත් සති 6ත් අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුවේ.   


ඒ අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වැනිදා හෝ 23 වැනිදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.   


ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 8 වැනි ජනාධිපතිවරණය වේ. 

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ලබන ජනවාරි මස 9 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇත.   


ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 9 වැනිදාත් නොවැම්බර් මස 9 වැනිදාත් අතර දිනකදී පැවැත්විය යුතුව ඇත.