ජනපති සිංගප්පූරුවෙන් අර්ජුන් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)  

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණමය කටයුතු සඳහා මෙරටට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පරිසර ඇමැතිවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ගිය සතියේ සිංගප්පූරුවට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට අගමැතිවරයා වෙත මෙම ඉල්ලීම කර ඇති බව ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.  

 

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනාවලට අද‌ාළ ලිපි ගොනුවක් ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී රැගෙන ගොස් ඇති බව ද පැවසේ.  


මේ අතර ජනාධිපතිවරයාගේ සිංගප්පූරු නිල සංචාරයට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කැඳවාගෙන ගොස් ඇති බවට ද වාර්තා වේ. 


බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා කොළඹ කොටුව අධිකරණය ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ද මේ වන විට නිකුත් කර ඇත.