ජනපති පළාත් සභා ඡන්දය කැඳවයි


ගැසට් නිවේදනය  අද හෙටම

(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය කැඳවීමට හැකිවන සේ විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

 
ජනාධිපතිවරයා පෙරේදා (26) රාත්‍රියේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත් වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.   

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගන්නැයි ජනාධිපතිවරයා ඉකුත් සතියේදී නීතිපතිවරයා වෙත දැනුම්දී තිබූ අතර මත විමසීමට පෙර ඒ ගැන තමාට ලිඛිතව දන්වන්නැයි ද ජනාධිපතිවරයා නීතිපතිවරයාට දන්වා තිබිණි.   


ඒ අනුව නීතිපතිවරයා මේ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බව ද වාර්තා විය.  පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත් නීතිපතිවරයාත් කැඳවා සාකච්ඡා කරන්නට තීරණය කර ඇත්තේ ඒ අනුව බව ද පැවසේ.   


ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අනුව පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.  සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, වයඹ, උතුර, දකුණ සහ බස්නාහිර යන පළාත් සභා හතේ නිල කාලය අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ද ලබන ඔක්තෝබර් මාස​යේදී අවසන් වීමට නියමිතය.   


මේ අතර ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බදාදා (24) යෝජනාවක් ද සම්මත කර ගත්තේය.