ජනපති-ඒකාබද්ධය සමගියකට වෑයමක්


දෙපැත්තේම ප්‍රබලයෝ සාකච්ඡා

(අජන්ත කුමාර අගලකඩ)  

රට තුළ පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදවලට මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟත්වයක් ඇති කිරීමට අලුතින් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයින් කිහිප දෙනකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්‍රබලයින් කිහිප දෙනකු මේ සඳහා ඍජුවම මැදිහත් වී සිටින බව ද වාර්තා වේ.   

ආණ්ඩුව තුළ සිටින ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර ඇතිව තිබෙන බරපතළ නොගැළපීම් හමුවේ ජාතික ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව මෙම සාකච්ඡාවලට 


මැදිහත් වී සිටින පිරිසේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.   


ඒ සඳහා තිබෙන එකම විකල්පය අයවැයේ දී හෝ ඉන්පසු ඉතා ඉක්මනින්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් මුල්වී නව ආණ්ඩුවක් පිහිටුවීම යැයි එම පිරිස් පෙන්වා දී ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ගවලින් පැවැසේ.  


පවතින දේශපාලන අර්බුදය තවදුරටත් දිග්ගැස්සුණහොත් රුපියලේ අගය ශීඝ්‍රයෙන් බාල්දු වී ඩොලරය රුපියල් 200 පමණ දක්වා ඉහළ යනු ඇතැයි එම කණ්ඩායමේ අදහස වී ඇත.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී කඩිනමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මේ සඳහා මූලික වී සිටින දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කියා සිටියහ.