ඡන්ද රාජකාරියට සෞඛ්‍ය සේවයේ දහදාහක්


• මහ පරිමාණ රැස්වීම් බෑ  
• රැස්වීමක උපරිම ගණන සීයයි  
• ප්‍රචාරක කටයුතු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන්  
• ඡන්ද ගණන් කරන්න විශාල ප්‍රමාණයේ උත්සව ශාලා  

(අජන්ත කුමාර අගලකඩ)  

මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීම සඳහා ඡන්ද පොළවල හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි කටයුතුවලට දසදහසක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  

මේ බව මැතිවරණ කොමිෂන් සභාවට ද දැනුම් දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.  


මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්විය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මාලාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් බදාදා (03) බාර දුන් බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ සිට ඡන්ද විමසීම පැවැත්වීම, ඡන්ද ගණන් කිරීම, ප්‍රචාරක වැඩ සටහන් ආදි කටයුතු දක්වා සියලු කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් වෙන වෙනම නිර්දේශ එමගින් ලබාදුන් බවද කීවේය.  


ඡන්දයේ රාජකාරි කටයුතුවලට යෙදවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමිවෙන බවත් ඒ සඳහා විශේෂ චක්‍රලේඛයක් පෙරේදා (05) නිකුත් කළ බවත් ඔහු සඳහන් කළේය.  


මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී මහා පරිමාණයෙන් සෙනඟ රැස්කර රැස්වීම් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බවත් රැස්වීමකට සහභාගි කරවා ගත හැකි උපරිම පිරිස 100ක් බවත් හෙතෙම කීවේය.  
ඒ සියල්ල ද මීටරයක දුර පවත්වා ගනිමින් සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.  


අපේක්ෂකයන් ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යාමේදී යා හැකි උපරිම පිරිස තුන් දෙනකු පමණක් බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන්ද නිවෙස් ඇතුළට යාමෙන් වැළකීම වැදගත් බවද සඳහන් කළේය.  


ඡන්ද ප්‍රචාරක කටයුතු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් සිදුකිරීම වැදගත් බව සිය නිර්දේශ මාලාව මගින් දන්වා ඇතැයිද ඔහු කීවේය.  


ඡන්දදායකයන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම සෑම ඡන්ද පොළකදීම සිදුවිය යුතු අතර ඡන්ද පොළට යාමේදී දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද ඔහු කීවේය. 

 
ඡන්ද ගණන් කිරීමේ කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුඩා ඉඩකඩක සිදුකිරීම ගැටලුකාරී බැවින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා වායු සමීකරණය කරන ලද විශාල ප්‍රමාණයේ උත්සව ශාලා ආදිය යොදා ගැනීම වඩාත් සුදුසු බව සිය නිර්දේශ මාලාව මගින් මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කර ඇතැයිද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.