ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී


ජාතික ආරක්ෂාවට මුල්තැන

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පෙරේදා (25) එළිදක්වන ලද දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවකින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත.  

ඒ යටතේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමටත් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සතු බුද්ධි සේවා අංශ සියල්ල බුද්ධි අංශ ප්‍රධානියකු යටතට පත්කිරීමටත් එමගින් යෝජනා කර ඇත.  


දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත්කිරීමටත් යෝජනා කර ඇති අතර ඒකීය රාජ්‍ය බුදු දහමට ලැබෙන ප්‍රමුඛස්ථානය හා ආගමික නිදහස නව ව්‍යවස්ථාව තුළ වෙනසකට ලක් නොකෙරෙනු ඇත.  
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිවයුත්තන් හෙළිකර දඬුවම් ලබාදීම සඳහා පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත්කිරීමටද යෝජනා කර තිබේ.  


වැඩිවන ජීවන වියදම් අනුපාතයට ගැළපෙන පරිදි රජයේ සේවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත්, රාජ්‍ය සේවකයන්ට ගෙවන රුපියල් 2500 වැටුප් වැඩිවීම අර්ධ රාජ්‍ය අංශයට ලබාදීමටත් යෝජනා කර ඇත.  


ගොවියා නැවත නගා සිටුවීම සඳහා පොහොර සහනාධාර ක්‍රමය වෙනුවට වගාවට අවශ්‍ය පොහොර සහ කාබනික පොහොර නොමිලේ ලබාදීමට ද යෝජනා කර තිබේ.  
රාජ්‍ය ව්‍යවසායන් කිසිම හේතුවක් මත පෞද්ගලීකරණය නොකරන බවද එහි දැක්වේ.  


ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ජනමතය ද ජනාධිපතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් කර තිබේ.