කොවිඩ් එන්නතට පෙරහුරුවක් මේ සතියේ


(පද්මිණි මාතරගේ)  

රට තුළ දැඩිව කතාබහට ලක්ව ඇති කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් මෙම සතිය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවත් එහිදී එන්නත් කිරීම හැර සෙසු සියල්ල තෝරාගත් පුද්ගලයන්ට සිදුකර බලන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.  

සාමාන්‍යයන් එන්නතක් දරුවන්ට ලබා දෙන විට එම එන්නත පිළිබඳව හොඳින් දන්නා බවත් වැඩිහිටියන්ට දෙන අද‌ාළ එන්නත අලුත් එන්නතක් බැවින් එහි අතුරු ආබාධ එන්නට හැකි බැවින් මෙම පෙරහුරුව කරන බව ද ඒ මහතා කීය. එහිදී සාමාන්‍ය නිරෝගී පුද්ගලයන්ට අද‌ාළ වැඩසටහන සිදුකරන අතර මෙම එන්නත් කිරීමේ වැඩපිළිවෙලට කොපමණ වෙලාවක් ගතවෙනවා ද?, පුද්ගලයන් කැඳවාගෙන එන්නේ කොහේද ? පෝලිම හදන්නේ කෙසේද? සෙනඟ පාලනය කරන්නේ කෙසේද? යන්න  මෙහිදී සිදුකර බලන බව ද ඒ මහතා කීය.  


මෙම පෙරහුරුව පැවැත්වීමෙන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් විය හැකි ද? යන්න පිළිබඳව සොයා ගැනීමට හැකිවන බවත් අඩුපාඩුවක් තිබුණහොත් ඒ සියල්ල සම්පූර්ණ කරගෙන අද‌ාළ එන්නත ලැබුණු මොහොතක එය ජනතාවට ලබා දීමට හැකිවන බවත් ඒ මහතා කීය. කෙසේ වුව ද ගෙන එන එන්නත කුමක් ද? යන්න තවමත් කිසිවෙකු නොදන්නා අතර සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස තමන්ට ලැබෙන ඕනෑම මොහොතක, ලැබෙන ඕනෑම එන්නතක් ජනතාවට ලබා දීමට සූද‌ානම්ව සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.