කවුරු දිනුවත් මහ ඡන්දයක් ?


(අජන්ත කුමාර අගලකඩ)  
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් කවුරුන් ජයග්‍රහණය කළද, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන බදාදා (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන එදිනම ඡන්දය විමසීමට ද නියමිතය.  


විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක්ද එක්ව සිටින අතර එය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයද මෙහෙයුමක් ආරම්භ කර ඇත.  

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන විරසකයද මේ වනවිට උත්සන්න වෙමින් තිබේ.   


පෙළ ගැසෙමින් තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ විශ්වාසභංග යෝජනාවෙන් කුමන පාර්ශ්වය ජයග්‍රහණය කළද රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝද පෙන්වා දෙති.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 වසරේ ජනවාරි මාසයෙන් අවසන් වීමට නියමිත අතර වර්තමාන පාර්ලිමේන්තුවේ ධුර කාලය ලබන 2020 වසරේ අගෝස්තු මාසයෙන් අවසන්වීමට නියමිතව ඇත.