කවුරු දිනුවත් අලුත් ඇමැති මණ්ඩලයක්


(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය වෙනස් කරමින් නව ඇමැති මණ්ඩලයක් පත්කර ගැනෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන අපේක්ෂකයා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසුව නව ඇමැති මණ්ඩලය නම් කෙරෙනු ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.  

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර නව ඇමැති මණ්ඩලය නම් කෙරෙනු ඇති බව වාර්තා වේ.  


මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමද‌‌ාස මහතා ජයග්‍රහණය කළහොත් දැනට සිටින අමාත්‍ය මණ්ඩලයේ යම් වෙනසක් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කෙරෙනු ඇති බව ද පැවසේ.  


ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම පාර්ශ්ව නව අමාත්‍ය මණ්ඩලයක් සඳහා නම් ලැයිස්තු පවා දැනටමත් සකස් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.  
ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද (17) පස්වරුව වන විට නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ අනුව නව ජනාධිපතිවරයා හෙට (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.  ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ද ඉදිරි දින දෙක තුන ඇතුළත දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.