කම්කරු වැටුප් කෝටි 350ක් හිරවෙලා


   ඇමැති දෙපොළකගේ ගැටුමක්

 (බිඟුන් මේනක ගමගේ)  

ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් යටතේ අබලන් වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමෙහි නිරත වූ ඉදිකිරීම්කරුවන් රැසකට ගෙවිය යුතු රුපියල් කෝටි 350 ක පමණ මුදලක් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක යන ඇමැතිවරුන් අතර හටගෙන ඇති විවාදයක් හේතුවෙන් මාස අටක් තිස්සේ ගෙවීම් පැහැර හැර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.  

ගංවතුර හේතුවෙන් අබලන් වූ දිස්ත්‍රික්ක හතක මාර්ග මෙසේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සිදුකර ඇති අතර ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට යාමේදී ආපද‌ා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබේ.  


ආපද‌ා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා ඊට හේතු ලෙස දක්වා තිබෙන්නේ අදාළ ව්‍යාපෘතිය ආපදා කළමනාකරණ විෂයට අයත් බැවින් වෙනත් අමාත්‍යංශයකට එසේ මුදල් වෙන්කරවා ගත නොහැකි බවටය.  


මෙම විවාදය නිසා ජනාධිපතිවරයා අදාළ ඇමැතිවරුන් දෙදෙනාටම එකඟතාවකට පැමිණ එම ප්‍රශ්නය විසඳ‌ා ගන්නැයි යෝජනා කර ඇත.  


 මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී 2017 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී මෙම ඉදිකිරීම් කඩිනමින් නිමා කළේ නමුත් මෙතෙක් තමන්ට හිමි ගෙවීම් කර නැතැයි අද‌ාළ ඉදිකිරීම් කළ සමාගම් කීපයකම හිමිකරුවෝ පැවසූහ.  


මේ නිසා සිය සේවකයන්ට වැටුප් ගෙවීමටත් සෙසු ඉදිකිරීම් කටයුතුවලට ආයෝජනය කිරීමටත් මුදල් නොමැතිකමින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටිතැයි ඔවුහු පැවසූහ. ආපද‌ා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් මේ ගැන විමසීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.  


මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර මහතාගෙන් අප කළ විමසීමේදී, මෙම ඉදිකිරීම්කරුවන්ට රුපියල් කෝටි 350 ක හිඟ මුදල් ගෙවීමට ඇතැයි ද ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද පැවැසීය.  


ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත එම මුදල් ගෙවීමට හැකි බවට තමා සහතික වන්නේ යැයි ද කොඩිකාර මහතා වැඩිදුරටත් පැවැසීය.