ඒකාබද්ධ - ශ්‍රීලනිප නිතරග ගිවිසුමක් ?


(අජන්ත කුමාර අගලකඩ)  
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත්, දෙපාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු හා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.  

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරග කළහොත් එය අවාසියක් විය හැකි බැවින් දෙපාර්ශ්වය අතර මෙවැනි එකඟතාවක් හෝ ඇතිකර ගැනීම වාසිදායක බව ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.  


මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වෙන අතර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වාදී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.


මේ අතර පළාත් පාලන ඡන්ද පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (3) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.  එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙක් සහභාගි නොවූ අතර දෙපිරිස එකතු කිරීම සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවී නැති බව ද වාර්තා වේ.