උතුරෙන් ආ යෝජනාවලියෙන් මහ පක්ෂ දෙකම කැළඹිලා


(අජන්ත කුමාර අගලකඩ) 


උතුරු - නැගෙනහිර යළි ඒකාබද්ධ කර ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් 13 ක් මුල්කර ගනිමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 5 ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය හේතුවෙන් දකුණේ දේශපාලන පක්ෂ මේ වන විට දැඩි කැළඹීමකට පත්ව තිබෙන බව වාර්තා වේ.  


ඉටුකළ නොහැකි දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් දෙමළ දේශපාලන පක්ෂ උතුරේ ජනතාවගේ ඡන්දය මෙසේ වෙන්දේසියේ දැමීම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  


ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලබාදීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් එක්ව ඉල්ලීම් 13කින් යුත් යෝජනාවලියක් පසුගිය දා සම්මත කරගෙන තිබිණි. 

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු එම යෝජනාවලිය පිළිගෙන පසුගියදා ඊට අත්සන් තැබූහ.  
නව ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ, උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධකර ස්වයං තීරණ අයිතිය ලබාගැනීම, අවසන් යුද සමයේදී සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීම මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කිරීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභුමි වහාම නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වයදීම, උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවූ ප්‍රදේශ ලෙස නම්කර මහජන කමිටුවක් හරහා එහි සංවර්ධන කටයුතු කිරීම යන ඉල්ලීම් 13 එම යෝජනාවලියට ඇතුළත් කර ඇත.