ඉන්ධන මිල සූත්‍රය නවතී


(අජන්ත කුමාර අගලකඩ)  
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ගෙන ඒමට සැලසුම් කර තිබූ මිල සුත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන ලද ඉන්ධන මිල සූත්‍රය ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එදින එය ඉදිරිපත් කර නොතිබිණි.  


ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වෙනස්වීම් අනුව දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල මාස කීපයකට වරක් සංශෝධනය කිරීමට එමගින් යෝජනා කර තිබිණි.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රයක් ගෙන එන බව මුදල් අමාත්‍යාංශයද ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.  


එසේ වුවද ඉන්ධන මිල සූත්‍රය ගෙන ඒම මේ වන විට තාවකාලිකව කල් දැමීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 38 ක පමණ අතිරේක පාඩුවක් ලබන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.  


ඒ සඳහා වහාම විසඳුමක් ලබා දෙන්නැයිද ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබිණි. කරුණු එසේ තිබියදී ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දැක්වූ ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල දැන්ම වැඩි කිරීමේ සූදානමක් නැති බවය.