ඇමැති තුනකට ජනපතිගෙන් දොස්


ඥාති සංග්‍රහය:

(අජන්ත කුමාර අගලකඩ)  

ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේදී ඔවුන්ට දොස් පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


මින් ඇමැතිවරුන් දෙදෙනකුම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ සිය අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල පවත්වාගෙන යන ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.  

එක්තරා ඇමැතිවරයකු සිය අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල මුල් පුටු දෙකටම ළඟම ඥාතීන් දෙදෙනකු පත් කිරීම හා තවත් ඇමැතිවරයකු සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දෙකකම මුල් පුටුවලට ළඟම ඥාතියකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම දෝෂාරෝපණය එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි. මෙම තනතුරුවල වෙනසක් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇති බව ද පැවසේ.   


මේ අතර ආණ්ඩුව දැඩි අපහසුතාවට පත්වන ආකාරයෙන් ඇතැම් ප්‍රකාශ කළ ඇමැතිවරයකුටද ජනාධිපතිවරයා දොස් පවරා ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.  


මෙම ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනකුම බස්නාහිර පළාත නියෝජනය කරන අතර අනෙක් ඇමැතිවරයා ඌව පළාත නියෝජනය කරන ඇමැතිවරයකු බව පැවසේ.