ආණ්ඩු​ වෙනසකට තීන්දු ගන්න ජනපති මාසයක් කල් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)  


ආණ්ඩුවේ වෙනසක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමාට මාසයක් කල් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා පැවැති ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.  

එතෙක් කණ්ඩායමක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජාතික ආණ්ඩුව අවසන් කළ හැක්කේ කෙසේද සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා තනි තීන්දු නොගෙන කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.  


ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අතර මෙම විශේෂ සාකච්ඡාව ඉකුත් අඟහරුවාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.  


එම සාකච්ඡාවේ තොරතුරු පිටතට නොදීමටද එහිදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තාවේ.  


මැති ඇමැතිවරුන්ට සිය අදහස විවෘතව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අවස්ථාව ලබාදී ඇති අතර ජාතික ආණ්ඩුව මේ ආකාරයෙන් ගෙන යා නොහැකි බව ඇමැතිවරුන් වැඩි දෙනකු එහිදී ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්නට ඇත.