ආණ්ඩුවේ මත ගැටුම විස‌ඳන්න පක්ෂ නායක රැස්වීමක්


(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේදී රැස්වීමට නියමිතය.   

පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේදී එකඟතාවක් ඇති කර ගත් නමුත්, මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නව පනත් කෙටුම්පත් කර ඇති යෝජනාවට ආණ්ඩුවේ ඇමැතිවරුන් පිරිසක් විරෝධය පළකර ඇත.   
දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන්, එම යෝජනාවට විරෝධය පළකර ඇති ඇමැතිවරුන් කිහිපදෙනා අතර වන බව රජයේ ආරංචි මාර්ග කියයි.   


පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන නව පනත් කෙටුම්පත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය ගිය සතියෙ කැබිනට් රැස්වීමේ දී සාකච්ඡාවට ගැනුණි.   
මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය එහිදී එකඟ වූ අතර මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට ඇතැම් ඇමැතිවරුන් විරුද්ධවීම නිසා කැබිනට් පත්‍රිකාව අනුමත නොවීය. 

 
ඒ අනුව අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා සාකච්ඡා කර අවසන් තීරණයකට එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.   


කෙසේ වුවද පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම ස්ථිර බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. එහිදී පළාත් සභාවේ මන්ත්‍රීධුර ගණනින් සියයට 70ක් කොට්ඨාස ක්‍රමයට ද සියයට 30ක් අනුපාත ක්‍රමයට ද පත්කර ගැනෙන බව ඔහු සඳහන් කළේය. 

 
පක්ෂනායකයන්ගේ රැස්වීමේ දී ඇතිවන එකඟතා අනුව නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.   


එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත පස්දෙනකුගෙන් යුත් සීමා නිර්ණ කමිටුවක් පත්කරනු ලබන අතර එම සීමා නිර්ණ කමිටු වාර්තාව ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු වේ.